සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීමට අදාළ ලිපිගොනු 4ක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය

සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීමට අදාළ ලිපිගොනු 4ක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය

2000 වසරේ යාපනය මිරුසුවිල්හි දී ළමයින් තිදෙනකු ඇතුළු සාමාන්‍ය වැසියන් අටදෙනකු මරා දැමීමේ චෝදනාවට මරණ දඬුවම් නියමව සිටි යුද හමුදා නිලධාරී සුනිල් රත්නායකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාව ලබාදීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන ගිය ලිපිගොනු හතරක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) තීරණය කළේය.

එම ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව එම ඝාතනයට ලක්වූ අයගේ පවුල්වල සාමාජිකයන් සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හයක් කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කර තිබේ.

යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධනය සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජෙෆ් අලගරත්නම්, එම්.ඒ. සුමන්තිරන් යන ජනාධිපති නීතිඥවරුන් සහ නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා සඳහන් කළේ, සිරකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියාවලියට පරිබාහිරව යමින් මෙම පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සිදුකර ඇති බවය.

වගඋත්තරකාර සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව ලබාදීමට සුවිශේෂී කරුණක් නොමැති බවට නීතිපතිවරයා විසින් කර ඇති නිර්දේශය සහ ඔහුට දඬුවම් නියම කළ විනිසුරු මඬුල්ලේ නිර්දේශය නොතකා හරිමින් එවකට සිටි අධිකරණ ඇමැතිවරයා විසින් ඔහුට ජනාධිපති සමාව ලබාදීමට නිර්දේශ කර ඇති බව එහිදී නීතිඥවරු පෙන්වාදුන්හ.

එය නියමිත ක්‍රියාවලියට පටහැණිව කටයුතු කිරීමක් බව ඔවුහු පෙන්වාදුන්හ.

සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන ගිය, මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති ලිපිගොනු සම්බන්ධයෙන් එහිදී විනිසුරු මඬුල්ල කරුණු විමසා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් කළ විමසීමකට අනුව එලෙස යොමු කළ ලිපිගොනු හතරක් විවෘත අධිකරණයට යොමු කරන ලදි.

අනතුරුව එම ලිපිගොනු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වය සහ වගඋත්තරකාර පාර්ශ්වයට අවශ්‍ය නම් එම ලිපිගොනුවල පිටපත් ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

අනතුරුව පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම පෙබරවාරි මස 27 වැනිදා සිදු කිරීමට නියම කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා, ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජික අම්බිකා සත්කුරුනාදන් සහ එම ඝාතනයට ලක් වූ පිරිසගේ පවුල් සාමාජිකයින්, සිවිල් ක්‍රියාකාරීන් වන රුවන් ජයකොඩි, රුක්ෂාන් ප්‍රනාන්දු, කවීන්ද්යා තෝමස් යන අය මෙහි පෙත්සම්කාර පාර්ශ්වය ලෙස නම් කර තිබේ.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති වෙනුවෙන් නීතිපති, යුද හමුදා නිලධාරී සුනිල් රත්නායක, ජනාධිපති ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.