ජනපති දුන් සහනාධාර දෙකක් මැතිවරණ කොමිසම අත්හිටුවයි

ජනපති දුන් සහනාධාර දෙකක් මැතිවරණ කොමිසම අත්හිටුවයි

වත්මන් රජය මගින් ප්‍රකාශයට පත්කළ වැඩිකළ පොහොර සහනාධාරය සහ ධීවරයින් උදෙසා වන ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම මගින් අත්හිටුවා තිබෙනවා.

මැතිවරණයෙන් පසුව එම සහනාධාර ලබා දෙන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙන්නේ.

වී ගොවීන් සදහා හෙක්ටාරයකට මෙතෙක් ලබාදුන් රුපියල් පහළොස් දහසේ පොහොර සහනාධාරය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා මහාභාණ්ඩාගාරය වෙත උපදෙස් දී තිබුණා.

ධීවරයින් සදහා වන ඉන්ධන සහනාධාරය ද ඉහළ නැංවීමට තීරණය කෙරුණා.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩිකළ මෙම සහනාධාර හෙට සිට ක්‍රියාත්මක වීමටයි නියමිතව තිබුණේ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මෙවැනි සහනාධාර ලබා දීමෙන් සෙසු අපේක්ෂකයන් අගතියට පත්වීම වැළැක්වීම සදහා එය තාවකාලිකව නතර කළ බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.