පාසල් අනධ්‍යයන සේවකයන් අද – හෙට වැඩ නැහැ

පාසල් අනධ්‍යයන සේවකයන් අද – හෙට වැඩ නැහැ

සේවා ප්‍රතිපත්තිය සකස් කරන ලෙස ඉල්ලා පාසල්වල අනධ්‍යයන සේවකයන් අද (24 වැනිදා) සහ හෙට (25 වැනිදා) වැඩවර්ජනයක නිරත වන අතර හිඟ වැටුප් ඉල්ලා ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් ගුරුවරු සහ විදුහල්පතිවරු අනිද්දා (26 වැනිදා) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.

අනධ්‍යයන වර්ජනයට පිළියමක් වශයෙන් දෙමව්පියන් සහ ආදි සිසුන් පාසල්වලට කැඳවා පාසල් කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ. එම දැනුම් දීමට අනුව පළාත් අධ්‍යක්ෂවරු කලාප අධ්‍යක්ෂවරුන්ට ද කලාප අධ්‍යක්ෂවරු විදුහල්පතිවරුන්ට ද මේ බව දන්වා ඇත.

දෙමව්පියන් පාසල්වලට කැඳවුවද අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සේවය ලබා ගත නොහැකි බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් පාසල් නේවාසිකාගාරවලින් මෙන්ම රාත්‍රි මුර සේවා කටයුතුවලින් ද ඉවත් වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ලේකම් අජිත් තිලකරත්න පැවැසීය. සිය ඉල්ලීම ලබා දෙන ලෙස බලකරමින් අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල හා මහනුවර යන නගරවලදී අද ද ගම්පහ නගරයේ දී හෙට ද උද්ඝෝෂණ පවත්වන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත සියලු ගුරුවරු සහ විදුහල්පතිවරු එදින කොළඹට කැඳවා උද්ඝෝෂණයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවැසීය.