ගුරු – විදුහල්පති වර්ජනය හෙටත්

ගුරු – විදුහල්පති වර්ජනය හෙටත්

කොළඹ, ලෝටස් පාර ප්‍රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27) දිනයේත් ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසයි.

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු කීපයකට රජය විසඳුම් ලබා නොදීම මුල්කරගෙන ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමඟාමීව ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි.

එහිදී ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා විරෝධතාකරුවන් විසුරුවා හැරීමටයි, පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ.

ඒ අනුව, අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට දීනයේදීත් ක්‍රියාත්මක කරන බවයි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් කියා සිටියේ.