ඝාතන කිහිපයකට සම්බන්ධ වෙඩික්කරුවෙක් STF වෙඩි පහරින් මරුට

ඝාතන කිහිපයකට සම්බන්ධ වෙඩික්කරුවෙක් STF වෙඩි පහරින් මරුට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩික්කරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළකු වන සසිඳු සඳමිණි මෙන්ඩිස් (24) නැමැත්තා බවත් ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ් නැමැත්තාගේ වෙඩික්කරුවකු බව ද විශේෂ කාර්ය බළකාය
පවසයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට ඇති අතර ඇඹිලිපිටිය වැලිකඩ ප්‍රදේශයේ සිය සොහොයුරාගේ නිවසේ සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ විශේෂ මෙහෙයුම් ඒකකයට තොරතුරු ලැබී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.

එම තොරතුරු අනුව භට කණ්ඩායමක් අද අලුයම 3.50 ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එස්.ටී.එෆ් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු ද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් 17 වැනි දා සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම, සහ තවත් පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරීම් ඇතුළු වූ අපරාධ කිහිපයකට මෙම සැකකරු වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

Share This