දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට ලෙඩ වෙයි?

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට ලෙඩ වෙයි?

දුම්රිය ස්ථානාධිපතිවරුන් 922කගේ උසස්වීම්, බඳවාගැනීම් ඇතුළු වෘත්තීය ගැටලුවලට ඇමති මණ්ඩලයෙන් විසඳුම් නොලැබුණහොත් හෙට (23) සිට යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට සිදුවන බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

සිය ඉල්ලීම් 13ක් අතුරින් ඉල්ලීම් 6කට විසඳුම් ලබාදීමට ඇමතිවරයා පොරොන්දු වූ බවත් අද ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට අනුව විසඳුම් අපේක්ෂා කරන බවත් එම සංගමයේ සභාපති සුමේධ නවරත්න මහතා පැවසීය.

කෙසේ නමුත් එම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, දුම්රිය සේවකයන් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුනහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බවයි.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මින්පසු දුම්රිය වර්ජන නොමැති බවත්, දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ගැසට් පත්‍රයකින් ප්‍රකාශ කර ඇති බවත් දුම්රිය ක්ෂේත්‍ර සම්බන්ධව ගැටලුවක් පවතින්නේ නම් සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට හැකි බවයි.

එමෙන්ම ජනතාව පීඩාවට පත්වන අන්දමේ වර්ජන කළහොත් රැකියාවෙන් ඉවත් කරන බවද, ඔවුන් ලංකාවේ නීතියට ගරු කළ යුතු බවද ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.