ශ්‍රී ලංකාවට ලකුණු 175ක සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 175ක සුපිරි ජයක්

ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද (19) පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර තරගය ලකුණු 175කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50ක් අවසානයේ කඩුලු 6ක් දැවී ඔවුන් ලකුණු 355ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මුල් පිතිකරුවන් සිව්දෙනාම අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයකි.

ආරම්භක කඩුල්ල සඳහා දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක ලකුණු 95ක් එක්කළ අතර පළමු කඩුල්ල ලෙස කරුණාරත්න ලකුණු 52කට දැවී ගියේය. පැතුම් නිස්සංක ලකුණු 57යි.

අනතුරුව කඩුල්ලේ එක්වූ කුසල් මෙන්ඩිස් (78) සහ සදීර සමරවික්‍රම (73) ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීම වේගවත් කළහ.

චරිත් අසලංක පන්දු 23කදී ලකුණු 48යි.

පන්දු යැවීමේදී අලි නසීර් කඩුලු 2ක් දවාගත්තේය.