වාර්තා රැසක් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින තරඟාවලි ජයක්

වාර්තා රැසක් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්දින තරඟාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ, ඊයේ (17) පැවති තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගයි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගත්තේය.

එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබාගත්තාය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වූවාය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගත්හ.

ඒ අනුව, කාන්තා කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය වාර්තා කිරීමේ පළමු අවස්ථාව මෙය බවට වාර්තා වේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු නොදැවී ලකුණු 195ක් ලබා ගත්තාය.

ඇයගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 26ක් ඇතුළත් විය.

එය එක්දින ක්‍රිකට් තරගාවලියක කාන්තා ක්‍රීඩිකාවක් ලබාගත් ලොව තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන බව සඳහන්.

තරගයේ වීරයා සම්මානය චමරි අතපත්තු විසින් හිමිකර ගත්තාය.

Share This