ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය “සොබාදනවි” ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය “සොබාදනවි” ජනතා අයිතියට

1977 ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත් කරගත් අයුරින් ඉදිරි දශකය තුළ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය මෙරට ප්‍රධාන ආර්ථික වර්ධකය බවට පත්කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව, ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති අතිරික්තයක් සහිත නිෂ්පාදකයෙකු බවට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අතිරික්ත බලශක්තිය සඳහා සෑම විටම ඉල්ලුමක් පවතින බවත්, යෝජිත ඉන්දියා – සිංගප්පූරු විදුලිබල රැහැන් සම්බන්ධතා මාර්ගය යථාර්ථයක් බවට පත් වුවහොත්, ඒ සඳහා ද එක්වීමට සූදානමින් සිටින බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ පළමු අදියර අද (28) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදෙමිනි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනය වෙනුවෙන් දායකවීම සඳහා අත්‍යාවශ්‍ය මෙරට විදුලිබල සැපයුම් පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද තීරණාත්මක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් වන ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද “සොබාධනවි” බලාගාරය මගින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

අද ආරම්භ කරන ලද පළමු අදියරට මෙගාවොට් 220 ක ධාරිතාවයකින් යුත් F පන්තියේ ගෑස් ටර්බයිනයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.

මෙම අදියර විශ්වාසනීය විදුලි ප්‍රභවයක් සපයමින් ජාතික විදුලිබල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දෙවන අදියර, 2025 මුල් භාගය වන විට නිම කිරීමට සැලසුම් කර ඇති අතර, වාෂ්ප ටර්බයිනයක් ස්ථාපනය කිරීම හරහා බලාගාරයේ ධාරිතාවයට අතිරේක මෙගාවොට් 130 ක් එකතු කරනු ඇත.

මෙම අදියර ගෑස් ටර්බයිනයෙන් පළමු අදියරේ අතුරු ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කෙරෙන තාපය උපයෝගී කර ගනිමින් බලාගාරයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නංවනු ඇති අතර අවසානයේ සමස්ත නිෂ්පාදනය මෙගාවොට් 350 දක්වා වැඩි කරයි.

සෝබාධනවි බලාගාරය ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට සූදානමින් සිටියි.

ඒ අනුව මෙම විදුලිබලාගාරය මගින් රටේ ජනතාවට ස්ථාවර සහ දැරිය හැකි බලශක්ති සැපයුමක් ලබා දීම, කාර්මික වර්ධනය, රැකියා උත්පාදනය සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වය සඳහා සහාය වේ.

සංයුක්ත චක්‍ර ක්‍රියාවලිය මගින් රටේ වත්මන් විදුලි ඉල්ලුමෙන් ආසන්න වශයෙන් 12%ක් සපුරාලීමට අපේක්ෂා කරන අතර, රට පුරා සිටින දහස් සංඛ්‍යාත වැඩකරන ජනතාවට සහ වක්‍රව මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට සෘජුවම ප්‍රතිලාභ ලැබේ.

විදුලිබල බලාගාරයේ පළමු විදුලි සැපයුම වන මෙගාවොටි 220ක ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වන විට දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහනෙහි නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය අත්‍යාවශ්‍ය වන බවත්, ඒ තුළ ලබන සාර්ථකත්වය සමඟ අප රටට ආසියානු කලාපය සහ අප්‍රිකාව තුළ වැඩි අවස්ථා උදාවන බවත්ය.