රනිල්ට සහය දෙන මන්ත්‍රීලාට වැඩ වරදී

රනිල්ට සහය දෙන මන්ත්‍රීලාට වැඩ වරදී

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන සියලුම මන්ත්‍රීවරුන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු සූදානම් කරගෙන යන බවයි, එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පක්ෂයේ තීරණයට එරෙහිව ගිය පිරිස් නිලතල වලින් පමණක් නොව ආසන සංවිධායක ධූරවලින්ද ඉවත් කිරීමට නියමිතය.

ඒ, සම්බන්ධයෙන් සියලු තොරතුරු අධ්‍යයනය කරගෙන යන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 22 වැනිදා තීරණය කළේය.

එම තීරණයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව දැනුම් දුන්හ.

ඔවුන් මෙම දැනුම්දීම කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයන් ඇතුළු ක්‍රියාකාරීන් බහුතරයක්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට දැනටමත් තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.