ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුනට කැඩෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට පාර්ශව තුනකට කැඩී ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්ෂයේ නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට සහාය පළකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට දැනටමත් තීරණය කර ඇති බව වාර්තා වේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන බවට ප්‍රකාශ කර ඇති අතර දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට උදව් කරන බව දැනගන්නට ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සහයෝගය දෙන ජනාධිපති අපේක්ෂකයා 31 වැනි දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ උපසභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම කණ්ඩායම බවත් පක්ෂ මූලස්ථානය තියෙන්නේද තම කණ්ඩායම අතේ හෙයින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළි නොගන්නා බවත් ඔහු සඳහන් කළේය.