සිංහරාජයේ සද්ධන්තයෙක් අතුරුදන්

සිංහරාජයේ සද්ධන්තයෙක් අතුරුදන්

දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලින් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්යාලයේ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කලවාන සම්බන්ධීකරණ රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් විජේතුංග මහතා කියා සිටියේ, “පසුගිය වසරක පමණ කාලයක් තුළ අපට නිරීක්ෂණය වන්නේ සිංහරාජ වනාන්තරයේ වෙසෙන සද්දන්ත ඇත් පරපුරේ එක හස්තියෙක් පමණයි.

කරපටි පැළදි වන අලියා පමණක් දක්නට ලැබෙනවා. අනෙක් අලියා අපට හෝ ප්‍රදේශවාසින්ට දිගු කාලයක සිට දකින්නට ලැබිලා නැහැ.

සිංහරාජ වනාන්තරය තුළ ජීවත්ව සිටි අලි දෙදෙනා මෙම අලි දෙදෙනායි. මේ වන විට අපට දක්නට ලැබෙන කරපටි පැළදි අලියා මද කිපුණු ස්වභාවයක් පෙන්නුම් කරන අතර සිංහරාජ ආශ්‍රිත ග්‍රාම සීමාවල දක්නට ලැබෙනවා.

සිංහරාජ වන අලි මේ ප්‍රදේශයේ සිට ගාල්ලේ දෙනියාය, නෙළුව ප්‍රදේශය දක්වා සැරිසරනවා. කලකට පෙර සිංහරාජ ලදු කැලෑ හා පරිවාර වන ලැහැබ වල හස්තියෙන් තිදෙනෙකු දක්නට ලැබුණත් දැනට දර්ශනය වන්නේ එක් හස්තියෙක් පමණයි.

දැනට අතුරුදහන්ව සිටින අලියා පිළිබඳව කෝපි කෑල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සෝදිසියෙන් සිටිනවා.” යැයි විජේතුංග මහතා ප්‍රකාශ කළේය.

කලවාන සම්බන්ධීකරණ කමිටු රැස්වීම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහ කලවාන ප්‍රාදේශීය ලේකම් ආර්.එච්.බී චමිල කුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Share This