40 හැවිරිදි පෙම්වතාගෙන් 17 පෙම්වතියට වෙඩි ප්‍රහාරයක්

40 හැවිරිදි පෙම්වතාගෙන් 17 පෙම්වතියට වෙඩි ප්‍රහාරයක්

මින්නේරිය පොලිස් වසමේ, ගිරිතලේ, යාය 04 ප්‍රදේශයේ දී ඊයේ (14) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් 17 හැවිරිදි තරුණියක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර ඇත්තේ අංක 153, කුඹුරු ඉඩම, යාය 04, ගිරිතලේ ලිපිනයේ පදිංචි කෞෂිකා චමෝද්‍යා යන 17 හැවිරිදි දැරියයි.

ඇයගේ උදර ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර, පසුව අනුරාධපුරයේ රෝහලට මාරුකර තත්වය අසධ්‍ය නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරු හා වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය පිළිබඳව මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තුවාල ලද දැරියගේ මව මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“මගේ දුව පවුලේ බාලයාට තමයි මේ විදිහට වෙඩි වැදිලා රෝහල්ගත කර තිබෙන්නේ. ඇය වසර දෙකකට පමණ ඉහතදී ප්‍රදේශයේ හතළිස් හැවිරිදි පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඔහු සමග පැන ගියා.

වසර දෙකකට ආසන්න කාලයක් දුව ඔහු සමග එකම නිවසක වාසය කළා. ඔහුගෙන් වෙන හිරිහැර කම්කටලු උහුලා ගැනීමට නොහැකිවීම නිසා ඇය මීට සති කිහිපයකට කළින් ගෙදර ආවා.”

ඉන් අනතුරුව ඔහු ඇයට නොයෙකුත් අවස්ථාවල දී මග රැක සිට තර්ජන එල්ල කර තිබෙන අතර, කිහිපවතාවක්ම ඔහු ඇයට නැවතත් යෑමට කතාකළත් ඇය එයට කැමති නොවීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය උත්සන්න වී තිබේ.

සිද්ධිය වූ ඊයේ රාත්‍රී අවුරුදු සාදයක් සඳහා යාබද නිවසකට මෙම තරුණිය සහ මව ඇගේ පවුලේ පිරිස සමඟ ගොස් ඇත.

එහිදී දැරිය නිවසේ ඉදිරිපස දොරකඩ අසල පුටුවක වාඩි වී සිටින විටදී පැමිණ ඇති අදාළ පුද්ගලයා වෙඩි තබා පළාගොස් ඇති බව පැවැසේ.

එම වෙඩි තැබීමෙන් දැරිය උදර ප්‍රදේශයට බරපතල හානි සිදුවී ඇති අතර, ඇය කඩිනමින් පොළොන්නරුව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

Share This