
පැහැරගෙන යමින් තිබූ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි
වත්තල ප්‍රදේශයෙන් සොරකම් කළ ලොරි රථයකට කඩුවෙල උසාවිය අසලදී පොලිසියෙන් වෙඩි තබා තිබෙනවා.
මෙම ලොරි රථය පොලිස් අණ නොතකා ධාවනය කර තිබූ අතර, නොරච්චෝලේ සිට එළවළු රැගෙන ආ ලොරි රථයක්, මෙලෙස සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.
වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට එලවලු රැගෙන පැමිණි අධිශීතකරන සවි කරන ලද ආවරණය කරන ලද ලොරි රථයේ රියදුරු සුපිරි වෙළඳසලට යාමට පෙර තේ පානය සඳහා අසල රාත්‍රී ආපනශාලාවක් ඉදිරිපිට නතර කර තිබියදී සැකකරු මෙම ලොරිය සොරාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, අදාළ සොරකම පිළිබඳව ලොරි රථයේ හිමිකරුවන් විසින් පොලිසියට පැමිණිලි කර තිබූ අතර වැල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශයන් වලදී පොලිස් අණ නොතකා මෙම ලොරි රථය ධාවනය කර තිබූ බවයි.
කඩුවෙල ප්‍රදේශයේදී කොස්වත්ත දෙසට ලොරි රථය ධාවනය කර තිබූ අතර, පොලිස් කණ්ඩායම් මගින් අදාල ලොරි රථය ලුහුබැඳ තිබෙනවා.
පසුව කඩුවෙල අධිකරණය ආසන්නයේදී ලොරි රථයේ රෝද වලට පොලිසිය වෙඩි තබා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අත් බෝම්බයක් සොයා ගැනීමටත් පොලිසිය සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 25ක සැකකරුවෙක් බව පොලිසිය පවසනවා.