ඡන්ද මධ්‍යස්ථාන වල කලබල කලොත් වෙඩි

ඡන්ද මධ්‍යස්ථාන වල කලබල කලොත් වෙඩි

ඡන්ද මධ්‍යස්ථාන වලදී කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනයට වෙඩි තැබීමට පොලීසියට බලයදී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම එවැනි කලබල කරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමටද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර රට පුරා අනවසර ගිනිඅවි සහ පාතාල කල්ලි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගැනෙන අතර රට පුරා අනවසර ගිනි අවි ලක්ෂ දෙකක් පමණ පවතින බවට ආරක්ෂක අංශ අනුමාන කරයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වේ.

ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයකි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද දායකයන් ලක්ෂ දහයක පමණ පිරිසක් අලුතින් එකතු වී සිටින බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය