කඳානේ වෙඩි තැබීමක්

කඳානේ වෙඩි තැබීමක්

ඌරු මස් සැපයීමේ නිරත ධනවත් ව්‍යාපාරිකයකුගේ කඳාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට අද (04) උදෑසන 7.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කඳාන පොලිසිය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ අය සිට ඇතත් ඔවුන් කිසිවකුටත් අනතුරක් සිදුව නැතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

දෙමහල් නිවසේ ගේට්ටුවේ සහ බිත්ති වල වෙඩි වැදුණු සලකුණු පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි.

ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධකරුවකු මෙම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇතැයි පැවසේ.

ඉල්ලා සිටි කප්පම් මුදල ව්‍යාපාරිකයා විසින් නොදීම නිසා ඊට උරණ වී ඔහුගේ ගෝලයන් දෙදෙනකු ලවා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.