
සංජීව ඝාතනයේ සැකකරු ‘ෂෙරිෆ්ඩීන්’ කියා නම වැරැද්දුවාට ඇත්ත ෂෙරිෆ්ඩීන්ගේ ඥාතීන්ගෙන් මෝසමක්
වෙඩිවැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ඝාතන සැකකරු ලෙස වෙනත් අයෙකුගේ නමක් ප්‍රකාශ කිරීම හේතුවෙන් මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් පවුලේ ඥාතීන්ට අගතියක් සිදුවී ඇති බව සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) මෝසමක් ඉදිරිපත් කර තිබේ.
මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් යන අයගේ සොහෝදරයකු විසින් ගොනු කළ මෙම මෝසම නීතිඥ නුවන් ජයවර්ධන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ දසුන් පෙරේරා මහතා කියා සිටියේ ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් නොවන බවය.
මොහොමඩ් අසාම් ෂෙරිෆ්ඩීන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එක් පුද්ගලයෙකු නොව, පුද්ගලයින් දෙදෙනකු බවද ඔහු පැවසීය.
මේ හේතුවෙන් නම සඳහන් වූ සැකකරුගේ පවුලේ ඥාතීන්ට නීතිමය ප්‍රශ්න හා සමාජයේ ප්‍රශ්න ඇති වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සිද්ධියට අදාළ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් අදාළ ඉල්ලීම සැකකරු ඉදිරිපත් කරන අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිඥවරුන්ට දන්වා සිටියේය.