ලංකාවේ විශාලම ‌සෙල්ලිපිය දින තුනක් තිස්සේ අඛණ්ඩව කියවා අවසන් කරයි

ලංකාවේ විශාලම ‌සෙල්ලිපිය දින තුනක් තිස්සේ අඛණ්ඩව කියවා අවසන් කරයි

ඓතිහාසික දිඹුලාගල කඳුමුදුනින් හමුවූ ශ්‍රි ලංකාවේ විශාලතම සහ දුර්ලභ ගණයේ සෙල්ලිපිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ විශේෂ කණ්ඩායමක් දින තුනක කාලයක් කඳු මුදුනේ දිවා රාත්‍රී ගත කරමින් කියවා අවසන් බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පීඨාධිපති ,ගල්වැවේ විමලචන්ති හිමි,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සංවර්ධන නිලධාරී,කන්තලේ සුමිත්ත හිමි,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සහකාර අධ්‍යක්ෂක,බුද්ධි නාගොඩවිතාන,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශය පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ සහකාර අධ්‍යක්ෂක,කෞශල්‍යා දිසානායක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ පර්යේෂණ නිලධාරී,තුෂාරි සහම්පති, යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉකුත් 15 වෙනිදා සිට සෙල්ලිපිය කියවීම් කටයුතු ආරම්භ කර 17 වෙනිදා අළුයම් කාලය දක්වාම එම සෙල්ලිපිය කියවීමේ කටයුතු සිදුකළ බව රාහුලාලංකාර නාහිමියන් පැවසූහ.

දිඹුලාගල කඳු මුදුනේ දුෂ්කර ගමනක් ගොස් හා වෙහෙස මහන්සිව,විවිධ කැප කිරීම් කරමින් පන්දම් දල්වා අක්ෂර දෑතින් අල්ලා දිවා රාත්‍රි පර්යේෂණ කරමින් දිගු කලක් පිටපත් කෙරු ශ්‍රී ලංකාවේ පළමු සෙල්ලිපිය මෙය බවත්, ලබාගත් සියලු වාර්තා කරුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමෙන් අනතුරු සෙල්ලිපියෙන් කියවෙන සත්‍ය කරුණු ඉදිරි කාලයේදී මාධ්‍ය මගින් රටට හෙළිදරව් කිරීමට අපේක්ෂා කරන බව සෙල්ලිපි‍ය කියැවීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ නිලධාරීන් සඳහන් කළහ.

දිගින් අඩි 50 කින් සහ පළලින් අඩි 09 කින් යුත් මෙම දුර්ලභ ගණයේ විශාලතම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් යැයි සැලකෙන බව 2023 ඔක්තෝම්බර් 26 වෙනිදා සිට මාසයක පමණ කාලයක් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් විසින් අනාවරණය කර ගත්හ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටපත් කිරීම, ඇලවීම හා තාක්ෂණික කටයුතු හමාර කිරීමෙන් පසුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2023 දෙසැම්බර් 13 වෙනිදා ලිපිය කියවා අර්ථ දැක්වීම සඳහා වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මියට නියෝග කර තිබිණි.

ඒ අනුව එතුමිය 2024 ජනවාරි 17 වෙනිදා ආචාර්ය මාලනි ඩයස්, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සම සභාපතිත්වයෙන් යුතුව අභිලේඛන අංශයේ සේවයෙන් යුතු නිලධාරීන් සමන්විත කමිටුවක් පත් කලහ.

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පළමුවරට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් එම කටයුතු සිදුකිරීම අප්‍රේල් 02 වෙනිද
පෙරවරුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළහ.

මේ වනවිට සියයට සියයක් සෙල් ලිපියේ අක්ෂර කියවීමේ කටයුතු අවසන් වී ඇති බැවින් ඉතා කඩනිමින් මෙහි ඇති කරුණු සියල්ල රටට හෙළිදරව් කර, සෙල්ලිපිය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, එම සෙල්ලිපිය නැරඹීමට මාර්ගයක් සකසා සෙල්ලිපියේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, තමන් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් මෙන්ම පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයාගෙන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන බවද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

Share This