සපුගස්කන්ද පිරිපහදුව යළිත් ලෙඩ වෙයි
රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් වැයකොට මාස දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ අලුත්වැඩියාවක් කර නැවත පණගැන්වූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින කිහිපයකට පෙර යළිත් වසා දැමීමට සිදුවී ඇත.
පසුගිය සතිඅන්තයේ සිට ඊයේ (21) වනතුරුත් පිරිපහදුව යළි ක්‍රියාත්මක නොවුණු බව එහි සේවකයෝ පැවැසූහ.
ජාත්‍යන්තර සම්මතයට අනුව පිරිපහදුව වසර දෙකකට සැරයක් සම්පූර්ණ අලුත්වැඩියාවට ලක් කළ යුතු අතර එය රක්ෂණාවරණයට ආවරණය කරගත හැක්කේ ඒ අනුවය.
ජූලි 15 වැනිදා සිට අගෝස්තු 24 දක්වා මෙවර සම්පූර්ණ අලුත්වැඩියාව කළ අතර එම කාල සීමාව තුළ සම්පූර්ණ පිරිපහදුවේ ක්‍රියාකාරකම් නතර කර තිබුණි.
යළිත් පිරිපහදු කටයුතු අරඹා ක්‍රියාත්මක වන අතරේ බොයිලේරුවලට ජලය සපයන නළයක ඇති වූ පිපිරුමක් නිසා යළිත් වසා දැමීමට සිදුවී ඇත.
වැඩබලන පිරිපහදු කළමනාකරුවකු යටතේ පසුගිය රජය සමයේ පිරිපහදුව ක්‍රියාත්මක විය. ආන්දෝලනයට ලක්වූ රුපියල් කෝටි ගණනක් වටිනා බොරතෙල් බැරල් දසදහස් ගණනක් සපුගස්කන්ද නැව්වලින් ගොඩ බෑමේදී අතුරුදන් වූයේද මෙම කාලසීමාවේදීය.
පසුගිය රජය සමයේ බලධාරීන් විසින් පිරිපහදුව ස්වයංක්‍රීයව වැසීයන තත්ත්වයට ඇද දමා තිබුණේ මෙරට තෙල් වෙළෙඳාමේ නිරත විදෙස් සමාගම්වලට වාසිවන පරිදි බව සේවකයන් පෙන්වා දෙති.
තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදන ලෙසින් තාර, ගෑස්, ගුවන්යානා තෙල්වලින් විශාල වශයෙන් ලාබ උපයාගත හැකි වුවද එම නිෂ්පාදන නවතා දමා පෞද්ගලික අංශයට පැවරීමට බලධාරීන් කටයුතු කර තිබිණි.
වත්මන් රජය තෙල් පිරිපහදුව වසා දැමීමට නොදී යළි පිරිපහදු කටයුතු අරඹන බව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණයේදී පොරොන්දු වූ අතර ඒ අනුව, යළි පිරිපහදුව ක්‍රියාත්මක කරවීමට තිබියදී මෙසේ හදිසියේ වසා දමන්නට සිදුව ඇත.