ගණේමුල්ලේ සංජීව සිටි සිරකුටිය මාරු කිරීම ප්‍රතික්ෂේප කළ ජේලර්ගේ වැඩ තහනම්

ගණේමුල්ලේ සංජීව සිටි සිරකුටිය මාරු කිරීම ප්‍රතික්ෂේප කළ ජේලර්ගේ වැඩ තහනම්

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ (සැක) සිරකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජිව වෙනත් සිරකුටියකට මාරුකරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ලබාදුන් නියෝගය ප්‍රතික්ෂේප කළ බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇත.

බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම ජේලර්වරයාට ලබා දුන් නිත්‍යානුකුල නියෝගය නොපිළිපැදිම සම්බන්ධයෙන් විනය පරික්ෂණයකට යටත්ව ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව වැඩ තහනම් කිරිමට කටයුතු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බි. දිසානායක මහතා පැවැසීය.

පසුගිය 03වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිළධාරින් එක්ව බූස්ස අධිආරක්ෂක බන්ධනාගාරයේ කළ සෝදිසි මෙහෙයුමකදී එම බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවකු වන ‘ගණේමුල්ලේ සංජීව ‘නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකතනයක් සොයා ගැනීමට හැකිවී තිබේ.

මේ සිදුවීමෙන් පසුව ඔහු වෙනත් සිරකුටියකට මාරුකරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා විසින් ජේලර්වරයාට නියෝගකොට ඇති අතර අදාළ ජේලර්වරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම මෙම සිද්ධියෙන් පසුව ‘ගණේමුල්ලේ සංජීව ‘නැමැත්තා වෙනත් සිරකුටියකට මාරු කිරීමට බූස්ස බන්ධනාගාර බලධාරින් කටයුතු යෙදූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරමින් අදාල සිරකරුද ඔහුගේ සිරකුටිය තුළදී කලබල කරමින් බන්ධනාගාර නිළධාරින්ට තර්ජනය කර ඇතැයිද එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

ඉන් පසු මෙම සිරකරුව වෙනත් සිරකුටියකට මාරු කිරීම කොළඹ බන්ධනාගාර මූලස්ථානයෙන් ගිය කණ්ඩායමකගේ සහායෙන් සිදු කර ඇති අතර ඔහුව ඔසවා ගෙන ගොස් වෙනත් සිරමැදිරියකට යොමු කල බවද බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.