කායවර්ධන ලෝක අනුශූරිය දිවයිනට

කායවර්ධන ලෝක අනුශූරිය දිවයිනට

තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගී වන , I FBB Pro Leaque තරගාවලියේ උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ , කාන්තා ෆිෂික්ස් ( Woman Physique ) අංශය යටතේ තරග කර , එම ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා රිදී පදක්කමක් හිමි කර ගත් තාරකා සදරේණු පෙරේරා ක්‍රීඩිකාව ඊයේ (02) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඇය (02) දින රාත්‍රීයේ තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය (30) දින ලොව වෘත්තීය මට්ටමේ කායවර්ධන ක්‍රීඩිකාවන් 400 ක ගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණා.

කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තාරකා සදරේණු පෙරේරා රණවිරු දියණියක වන අතර ඇය ලබාගත් ජයග්‍රහණයත් සමග ඇයට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන ” ඔලිම්පියා ” ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද හිමිව තිබෙනවා.

තාරකා සදරේණු පෙරේරා ඉකුත් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතා තරගාවලියේ දී , ජාතික ශූරිය බවට පත් වී තිබෙනවා .

ඇය පිළිගැනීම සඳහා තාරකාගේ මව ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ඇයගේ පුහුණුකරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.