සනත් නිශාන්තගේ නඩුවකින් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

සනත් නිශාන්තගේ නඩුවකින් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඉවත්වී තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විවෘත අධිකරණයේ අද (27) සඳහන් කළේ විනිසුරු චමත් මොරායස් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.

ඉකුත් වසරේ අගෝස්තු මස 23 වන දා හෝ ඊට ආසන්න දිනයකදී පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ වග උත්තරකාර සනත් නිශාන්ත අරගල කරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය විවේචනය කිරීම හරහා ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහුට නිසි දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතිඥවරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පැවසුවේ මොරායස් විනිසුරුවරයා හලාවත අධිකරණ කලාපයේ සේවය කරද්දී වග උත්තරකාර සනත් නිෂාන්ත රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම නඩුව විමසීමට ඔහු අකමැත්ත පළ කර ඇති බවය.

ඒ අනුව අදාළ පෙත්සම් විභාගය ලබන 31 වනදා නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදින නව විනිසුරු මඩුල්ල නම් කරන බවත් සඳහන් කර තිබේ.

Share This