සමෘද්ධිලාභීන්ට මේ මස සිට යළිත් ප්‍රතිලාභ

සමෘද්ධිලාභීන්ට මේ මස සිට යළිත් ප්‍රතිලාභ

සමෘද්ධිලාභීන් 393,094 කට මේ මාසයේ සිට යළිත් මාසිකව ප්‍රතිලාභ ලබාදෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අස්වැසුම යෝජනා ක්‍රමයට තෝරා නොගත් සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ ගෙවීමට රජය පසුගිය දා ගත් තීරණයත් සමඟයි.

සමෘද්ධි බැංකු හරහා ඔවුන්ට හිමි වාරික ගෙවීමට සැලසුම් කර ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළා.

ඒ අනුව සමෘද්ධි දීමනාව ලබා ගනිමින් අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කළ 1,280,000 ටම සමෘද්ධි හෝ අස්වැසුම ප්‍රතිලාභ දීමනාවක් හිමිවනවා.

මේ අතර සමෘද්ධි ලාභීන්ට ද අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවන දීමනාව ගෙවිය යුතු බව සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළා.

Share This