සාදයකට යන්න කොන්ඩ විලාසිතාවක් දාගන්න සැලූන් එකට ගිය කතකට උන දේ

සාදයකට යන්න කොන්ඩ විලාසිතාවක් දාගන්න සැලූන් එකට ගිය කතකට උන දේ

මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකට එහිදී හිසේ ගැල් වූ ද්‍රාවණයක් අසාත්මිකවීම හේතුවෙන් හිසකෙස් ගැලවී ඇය ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

තිස්පස් හැවිරිදි මෙම විවාහක කාන්තාව සාදයකට සහභාගී වීම සඳහා හිසකෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණාගාරයකට ඉකුත් 30 වැනිදා ගොස් තිබේ.

එහිදී රූපලාවණ්‍යාගාර ප්‍රධාන කාන්තාව කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක මුදලක් කුලිය ලෙස ලබා ගැනීමෙන් අනතුරුව කොණ්ඩය සැකසීමට කාන්තාව අසුන් ගන්වා හිස ගල්වන ද්‍රාවණ කීපයක් ගල්වා ඇති බව හෙළිවී තිබේ.

මෙසේ හිස ගල්වන ආලේපන යොදා ටික වෙලාවක් යන විට කාන්තාවගේ හිසේ ඇති වූ දැවිල්ල සහ දැඩි අපහසුතාවක් හේතුවෙන් ඇය ඒ බව හිසකෙස් සකසමින් සිටි තරුණියන් දෙදෙනාට පවසා ඇත.

පසුව එම තරුණියන් දෙදෙනා කාන්තාවගේ හිස සෝදා පිස දැමුව ද ඇතිවූ අධික දැවිල්ල හේතුවෙන් කාන්තාව තම හිස අත ගෑමේ දී හිසකෙස් ගැලවී අතට පැමිණ තිබේ.

එම කාන්තාව කොණ්ඩය සකස් කරමින් සිටි රූපලාවණ්‍යාගාරයට පැමිණි ඇයගේ ඥාති සොහොයුරියන් දෙදෙනකුගේ ද සහාය ඇතිව මේ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව අසාත්මිකතාවට පත් වූ කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් එම රූපලාවණ්‍යාගාරයට ගොස් ඇති අතර ඒ වන විටත් රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය එය ඉබි යතුරු යොදා වසා දමා ගොස් තිබී ඇත.

ඇය නිවසින් ද පිටව ගොස් ඇතැයි පැවසේ.

රෝහල්ගත කර සිටි කාන්තාව ප්‍රතිකාර ලබා ඊයේ (01) නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.