රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ අවසන් වාර්තාව ජනපතිට

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ අවසන් වාර්තාව ජනපතිට

2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ජනපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබේ.

එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න ඇතුළු කමිටු සාමාජිකයින් විසින් අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත එය භාර දෙනු ලැබීය.

අදාළ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත් සියලුදෙනාගේ ආදායම් වැඩිකර දීම සිය අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
සියලු නිර්දේශ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතා ගිවිසුමෙහි කොන්දේසිවලට අනුකූල බවත් 2025 ජනවාරි 01වනදා සිට රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවත් එම කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න සඳහන් කළේය.

ඒ අනුව මූලික වැටුප් 24% සිට 50%ත් 60%ත් දක්වා වූ පරාසයකින් වැඩිවීමට නියමිතය.

වැටුප් වැඩිවීමේ වාසිය විශ්‍රාමිකයන්ටත් හිමි වෙයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කරන බවත්, එම වාර්තාවේ නිර්දේශවල සඳහන් වන ආකාරයට සියලු දෙනාගේ ආදායම් වැඩිකර දීම තමන්ගේද අපේක්ෂාව වන බවත්ය.

රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ විශේෂඥ කමිටුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතව 2024 ජුනි 12 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලදි.