මේ වසරේ යළිත් ගුරු වැටුප් වැඩිවීමක් නෑ – ජනපති මල්වතු මහා නා හිමිට දන්වයි!

මේ වසරේ යළිත් ගුරු වැටුප් වැඩිවීමක් නෑ – ජනපති මල්වතු මහා නා හිමිට දන්වයි!

ගුරුවරුන්ගේ වැටුප 2022 වසරේ සිට මේ දක්වා රුපියල් 13000ක සිට 17000ක් දක්වා වැඩි වී ඇති බැවින් මේ වසර තුළ යළිත් ගුරු වැටුප් වැඩිවීමක් සිදුනොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) මල්වතු මහා නායක හිමි බැහැ දුටු අවස්ථාවේ දී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහ නා හිමියන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී ගුරු වැටුප් වැඩි වීම මේ වසරේ සිදුනොවන බව දැන්වූ ජනාධිපතිවරයා වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව මල්වතු මහා නායක හිමියන්ට දැන්වූයේය.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් කරමින් මෙසේ ද පැවසුවේය.

“මා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ මල්වතු මහා විහාරය වෙත පැමිණියා. ඔබ වහන්සේලා ලබා දුන් උපදෙස් අනුව රට පාලනය කර අද රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට මට හැකි වී තිබෙනවා.

අද මා පළමුවෙන්ම මෙහි පැමිණියේ එම පණිවිඩය ඔබවහන්සේට දැනුම් දීමටයි. විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව අප මේවන විට එකඟතා දෙකකට අත්සන් තබා තිබෙනවා.

ගුරුවරුන්ට නැවත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය පහසුකම් සලසා දිය හැක්කේ ලබන වසරේදි බව කිවයුතුයි. ඒ පිළිබඳ අප ඔවුන්ව දැනුවත් කර තිබෙනවා.

ඒ වගේම අනෙක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ද සලකා බැලීමට සිදුවෙනවා. මොකද 2022 වසරේදී ගුරුවරුන්ට රුපියල් 3000-17000ත් අතර ගණනකින් වැටුප් වැඩිවීමක් සිදුව තිබෙනවා.

ඉන් පසුව ඔවුන්ට මේ වසරේ රුපියල් දසදහක වැටුප් වැඩිවීමක්ද සිදු වුණා. ඒ අනුව බැලූවිට රුපියල් 13000- 27000ක වැටුප් වැඩිවීමක් ගුරුවරුන්ට මේ වන විට ලැබී තිබෙනවා. එම නිසා අනෙක් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ද සාකච්ඡා කළ යුතුයි.

මේ වන විට දෙමළ මුස්ලිම් පාසල් ක්‍රියාත්මක වෙනවා. සිංහල පාසල්වල ගුරුවරුන් පමණයි මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින්නේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව 2025 වසරේ සිට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම එක් ක්‍රමවේදයක් අනුව සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සොයා බැලීමට මේ වනවිට කමිටුවක්ද පත් කර තිබෙනවා.”

Share This