කෝප් කමිටු සභාපති ගැන විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

කෝප් කමිටු සභාපති ගැන විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම කාරක සභා රැස්වීම යන අතරේදී කිහිප අවස්ථාවකදී කටට ඇඟිල්ල තබා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට විවිධ රහසිගත සංඥා දෙමින් උත්තර නොදෙන්නැයි ඉල්ලීම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කාරණයක් බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි ලෙස විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (15) පෙරවරුවේ ඇතිවිය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින කෝප් සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ඇතුළත් වීඩියෝ පටය ගැන සමාජයේ බරපතළ සාකච්ඡාවක් මතු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“කෝප් එකේ යම් යම් නිර්දේශ පිළිබඳව කරුණු විමසීම්වලදී අපි දැක්කා රූප රාමුවක්. එකේ අපි දකිනවා, කෝප් සභාපතිවරයා කටට ඇඟිල්ලක් තියලා යම් පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපා කියලා අපි හිතන විදියට. ඒ පැත්තේ රූපරාමු විතරයි දැන් එළියට ඇවිත් තියෙන්නේ. හැබැයි ඒ රූපරාමුවලට අපි මැච් කරොත් ඒ කෝප් කමිටුව ඇතුළේ අපේ සාමාජිකයෝ දක්වපු කරුණු කාරණා බොහෝම බරපතළයි. ඒ කියන්නේ කෝප් කමිටු සභාපතිවරයා අනියම් හෝ නියම් ක්‍රමයකින් උපදෙස් දෙනවා, හසුරවනවා සාක්ෂිකාරයෝ ලබාදෙන උත්තර පිළිබඳ. මේක බරපතළ කාරණයක්. මේක ගැන කථානායකතුමා පරීක්ෂණයක් කරන්න.”

Share This