සාගර පොහොට්ටුවේ ලේකම් ධුරයෙන් එළවන්න කංචනගෙන් යෝජනාවක්

සාගර පොහොට්ටුවේ ලේකම් ධුරයෙන් එළවන්න කංචනගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ධුරයෙන් සාගර කාරියවසම් මහතාව ඉවත් කර එම ධුරය සදහා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පත් කරන ලෙස වූ යෝජනාවක් පක්ෂ නායකත්වයට ඉදිරිපත් කිරීම සදහා වූ යෝජනාවක් ද එහි දී සම්මත වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (01) රැස්විය. ඒ අවස්ථාවේදී මෙම යෝජනා සම්මත වී ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පැවැත්විණි.

ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු පලාත් පාලන ආයතන නියෝජිතයින්, ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා ගනු ලැබු තීරණය ප්‍රතික්ෂේප කොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්විය යුතු බවට වු යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසිනි.

ඔහු විසින් ඉදිරිපත් කර ඇති අනෙක් යෝජනාව වූයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඉවත් කොට ඒ වෙනුවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර පක්ෂය ශක්තිමත් කර ගත යුතු බවයි.

අදාල යෝජනා දෙකටම රැස්ව සිටි නියෝජිතයින් අත් ඔසවා ඒකමතිකව යෝජනා සභා සම්මත කර ගෙන ඇත.

තවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ තීරණය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මතය නොවන බවද එම නිසා යලිත් වරක් ඒ මහතා සමග සාකච්ඡා කොට තම යෝජනාවට සහාය ලබා ගැනීමට උත්සාහ කරන බවද කංචන විජේසේකර මහතා එහිදී පවසා තිබේ.

හීටපු පලාත් සභා මන්ත්‍රීවරුන් වන පසද යාපා අබේවර්ධන, සරත් ද අල්විස්,බී.ජී.චන්දන ප්‍රියන්ත, බිංදු වීරසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුත් චමීර යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් ද රැස්ව සිටි නියෝජිතයින් අතර වූහ.