සචිත්‍රගේ කට හඬ පරීක්ෂණ වාර්තා ඉල්ලා සිහි කැඳවීමක්

සචිත්‍රගේ කට හඬ පරීක්ෂණ වාර්තා ඉල්ලා සිහි කැඳවීමක්

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) 2020 ක්‍රිකට් තරඟාවලිය මුදලට පාවා දුන්නේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ කට හඩ පරීක්ෂණය සම්බන්ධයෙන් වන විශේෂඥ වාර්තාව ඉදිරිපත් කරන්නයි රජයේ රස පරීක්ෂකවරයාට සීහි කැඳවීමේ ලිපියක් යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය.

තරඟ පාවාදීමට සැකකෙරෙන සචිත්‍ර සේනානායකට එරෙහිව ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ ඒකකය ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

එම අවස්ථාවේදී ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් සඳහන් කළේ, සැකකරුගේ කටහඬ පරීක්ෂණය සිදු කර තිබුණ ද එම පරීක්ෂාව සිදු කරන යන්ත්‍රය කැඩී තිබීම නිසා ඊට අදාළ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

කටහඬ පරීක්ෂණ වාර්තාවක් ඉල්ලා වසරක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් වාර්තාව ලැබී නොමැති හෙයින් සුදුසු නියෝගයක් කරන ලෙසට ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

2020 අයි.පී.එල් තරගාවලිය මුදලට පාවා දීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තරව පරීක්ෂණ සිදුකර මෙම පැමිණිල්ල කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

Share This