රුසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

රුසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක වීසා මගින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15බැගින් මුදල් අයකර විදේශ ගත කර තිබේ.

එරටදී රැසියානු-යුක්රේන යුද්ධයේ යුධ පෙරමුණට යාමට මෙම ලාංකිකයින්ට සිදුවී ඇත. මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වේ.

ඒ අනුව, නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ චම්පිකා එක්ස්පෝර්ට් විදේශ රැකියා ආයතනය නමින් පවත්වාගෙන ගිය අදාල ආයතනය ඊයේ වැටලීම් කර, එහි හිමිකරු සහ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කාර්යංශය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අදාල රැකියා නියෝජිතායතනයේ බලපත්‍රයද මේ වන විට අත්හිටුවීමට කාර්යාංශය පියවර ගෙන ඇත.

මෙම විමර්ශනය සඳහා කළමනාකරු (විශේෂ විමර්ශන) කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, මහීෂ කොඩිප්පිලිආරච්චි, මදුශාන් විජේවර්ධන, අමිල පෙරේරා හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් සහභාගි විය.

කිසිඳු හමුදාවක සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරිම රජය අනුමත නොකරන බවත්, සංචාරක වීසා මගින් කිසිඳු විටෙක විදේශ රැකියා සඳහා යොමුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි ජාවාරම් මෙහෙයවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් කරන ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Share This