විරාත් කෝලි සහ රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙති

විරාත් කෝලි සහ රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමුදෙති

2024 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ විරාත් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක කුසලාන අවසන් තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නායක රෝහිත් ශර්මා පවසා සිටියේ,

“මෙය මගේ අවසන් T20 තරගය. “මෙයට සමු දීමට මීට වඩා හොඳ කාලයක් නැහැ. මම මේ සෑම මොහොතකටම ආදරය කළා.

මම මගේ ඉන්දීය ක්‍රිකට් දිවිය ආරම්භ කළේ මෙම T20 ක්‍රීඩා කරමින්. මට අවශ්‍ය වූයේ ලෝක කුසලානය දිනා ගැනීමටයි.මට මේක ඉතාමත් සංවේදී අවස්ථාවක්.ඒක වචනවලින් කියන්න අමාරුයි.”

එමෙන්ම, මේ සම්බන්ධව විරාත් කෝලිද අදහස් දක්වමින් කියා සිටියේ,

”මේ තමයි මගේ අවසන් 20-20 ලෝක කුසලානය. ඒ වගේම ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් 20-20 තරගය.

අද තරගය පැරදුනත් මම මේ තීරණය කියන්න හිටියේ. රෝහිත් එක්ක පිටියට එද්දි අපි කතා වුණේ මේක කොහොම හරි දිනන්න ඕනි කියලා.

මට වඩා මේක රෝහිත්ට විශේෂයි. ඔහු දක්ෂයෙක්. අපි දැන් නවකයින්ට අවස්ථාව දිය යුතුයි. මම සාර්ථක වෙද්දි සහ අසාර්ථක වෙද්දි මා එක්ක හිටපු හැමෝටම ස්තූතියි.”

විරාත් කෝලි 20යි 20 ජාත්‍යන්තර වරම් හිමි කරගත්තේ 2010 වසරේද ජුනි 12 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

කෝලි 20යි 20 ජාත්‍යන්තර තරග 125කට මුහුණ දී ඇති අතර එම තරගවලදී රැස්කළ මුළු ලකුණු සංඛ්‍යාව 4,188කි.

එක් ශතකයක් සහ අර්ධ ශතක 38ක් ඊට ඇතුළත් ය.

35 හැවිරිදි කෝලි විසින් 20යි 20 ජාත්‍යන්තර තරගයකදී රැස්කර ඇති වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වෙන්නේ 122කි.

ඊයේ පැවති ලෝක කුසලාන 20යි 20 අවසන් මහා තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමටද විරාත් කෝලි සමත්විය.

ඊයේ අවසන්වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ මුල් තරගවලදී කෝලී අසාර්ථක වුවද අවසන් තරගයේදී ලකුණු 76ක් රැස් කරමින් අවශ්‍යම මොහොතේ සිය පිත්ත ක්‍රියාත්මක කළේ ඉන්දීය ඉනිම ඔසවා තබමිනි.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඊයේ අවසන් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී තමන් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කළේය.

37 හැවිරිදි රෝහිත් ෂර්මා 20යි 20 ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තේ 2007 වසරේ සැප්තැම්බර් 19 වනදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදීය.

එතැන් සිටි මේ දක්වා ෂර්මා මුහුණ දුන් 20යි 20 ජාත්‍යන්තර තරග 159ට රැස්කළ ඇති මුළු ලකුණු ප්‍රමාණය 4,231කි.

ෂර්මා විසින් ශතක 05ක් රැස්කළ ඇති අතර අර්ධ ශතක 32ක් රැසක් කර තිබේ.

20යි 20 ජාත්‍යන්තර තරගයකදී ෂර්මා විසින් වාර්තා කර ඇති හොඳම ලකුණු ප්‍රමාණය වන්නේ 121කි.

Share This