සහල් තොග සම්බන්ධ වාර්තාව අද ජනපතිට

සහල් තොග සම්බන්ධ වාර්තාව අද ජනපතිට

දිවයිනේ වී මෝල් හිමියන් සතුව පවතින සහල් තොග සම්බන්ධ වාර්තාව අද (28) ජනාධිපතිවරයාට ලබාදීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවැසීය.

රටේ සහල් මිල ඉහළ යන බැවින් ඊට කඩිනමින් පියවර ගැනීම සදහා වී මෝල් හිමියන් සතු සහල් තොග සම්බන්ධ වාර්තාවක් කඩිනමින් තමාට ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට පසුගිය සතියේදී දැනුම් දුන්නේය.

ඒ අනුව, එම සමීක්ෂණය පෙරේදා (26 ) සහ ඊයේ (27) දිනයේදී සිදු කෙරුණි.

අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වී මෝල් පමණක් මෙම දින දෙක තුළදී සමීක්ෂණයට ලක්කර තිබේ.

කෙසේ නමුත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ, දිවයින පුරා වී මෝල් රැසක් තිබෙන බැවින් මෙම සමීක්ෂණය සඳහා තවත් දින කීපයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවය.

ඇතැම් දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වී මෝල් 200 කට අධික ප්‍රමාණයක් පවතින බවද ඔහු කීවේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සීමිත නිලධාරීන් පිරිසක් සිටින නිසා දිවයින පුරා සියලු වී මෝල්වල තොරතුරු දින දෙකකින් ලබා ගැනීම ප්‍රායෝගික වශයෙන්ද ගැටලු තත්ත්වයක් බව ද සභාපතිවරයා පැවැසුවේය.