
“මූල්‍ය වංචාවකට වැඩ තහනම් වෙච්ච කෙනෙක් කැබිනට්ටුවේ ඉන්නවා” – රාසමාණික්කම්
පොහොර සංස්ථාවේ වැඩ කරන සමයේ මුල්‍ය වංචා දූෂණයක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු බවට පත්වී පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටින බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටින සමයේ එම පුද්ගලයා ගෙනවිත් තිබෙන බව කී මන්ත්‍රීවරයා ඉන්පසුව පොහොර සංස්ථාවේ සිටියදී අදාළ වංචාව කර තිබෙන බව ද සඳහන් කළේය.
තමා පෞද්ගලිකව කාටවත් මඩ ගහන්න කැමති නැති නිසා එම පුද්ගලයාගේ නම සඳහන් කරන්නේ නැතැයි ද රාසමානික්කම් මහතා කීය.
මූල්‍ය වංචා කරපු අය පාර්ලිමේන්තු සභාව ඇතුලේ තනතුරු වල සිටින විට ආණ්ඩුව ගැන පැහැදිලි සැකයක් ඇති වීම සාධාරණ බවද මන්ත්‍රීවරයා කීය.