රන්ජන් අලුත් පක්ෂයකින් මහ මැතිවරණයට

රන්ජන් අලුත් පක්ෂයකින් මහ මැතිවරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අලුත් පක්ෂයකින් මෙවර මහ මැතිවරණය සඳහා තරග වැදීමට සූදානම් වන බව වාර්තා වේ.

ඒ මහතා අකුරු දෙකක පක්ෂයකින් මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

මානව හිතවාදී දේශපාලඥයකු හා දක්ෂ කලාකරුවකු වූ දිවංගත විජය කුමාරතුංග මහතාගේ 79 වැනි ඡන්ම දිනය යෙදී ඇති අද (09) දිනයේදී රාමනායක මහතා මේ බව ප්‍රකාශයට පත්කරනු ඇතැයි පැවසේ.

විජය රන්ජන්ගේ මාමාය.

මීට දින කිහිපයකට පෙර රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අදාළ ලිපි ලේඛන සමඟ ඔහු ජනාධිපති කාර්යාලයට ගොස් තිබිණි.

ජනාධිපති කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ සිය ප්‍රජා අයිතියට අදාළ ලිපි ලේඛන කිහිපයක් රැගෙන එන ලෙස තමාට ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවයි.

“මම NPP නායකයින් ඇමතුවා. මගේ ප්‍රජා අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස මා කළ ඉල්ලීමට ඔවුන් අවනත වුණා.

මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එක්කත් දුරකථනයෙන් කතා කළා.

“මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කරලා ඡන්ද අයිතියත් නැති කළා. මට ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ඡන්ද පත්‍රිකාවක් ලැබුණා. ඒත් මම රටින් පිට හිටිය නිසා මට ඡන්දය දෙන්න බැරි වුණා.”

තම ප්‍රජා අයිතිය යළි ලබා දෙන්නේ නම් එන්පීපීයෙන් මහ මැතිවරණයට තරග කරන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක මහතා එහිදී කියා සිටියේ ඒ ගැන කිසිවක් කීමට තවමත් කල් වැඩි බවයි.