ජනපතිගෙන් සජිත් සහ අනුරට අභියෝගයක්

ජනපතිගෙන් සජිත් සහ අනුරට අභියෝගයක්

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන්ට අභියෝග කරන බවත්, එවිට ඔවුන් වේදිකාවල පවසන සත්‍ය අසත්‍ය දේ සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (25) පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස ද කීවේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නෑ. එසේ වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙනවා. බඩු මිල අඩු කරන බවට සහ බදු අඩු කරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශවලින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතුයි.

බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට මම ද කැමතියි. නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණයි. ඒ හැර වෙනත් විකල්පයක් තිබේ නම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කර මතය විමසන ලෙස සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන්ට පවසනවා.

අද ඔබ මේ ස්ථානයට රැස්ව සිටින්නේ මට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව දීමටයි. කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් අනුමත කළ යෝජනාව අද මේ සම්මේලනයේදී අනුමත කරගනු ලැබුවා. මම ඒ පිළිබඳ ඔබ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඇති කළේ ඩී.එස්. සේනානායක මැතිතුමා. ඒ වගේම එතුමා නිදහස් ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලාංකීය අනන්‍යතාවත් ආරක්ෂා කළා. 1946 සැප්තැම්බර් මස 06 වැනිදා එතුමා ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයේ යුතුකම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම කියලා. අප සියලු දෙනා එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස පමණක් නොවෙයි ශ්‍රී ලාංකිකයන් ලෙස එය සිතිය යුතුයි. ශ්‍රී ලංකාව නැති වුණොත් එක්සත් ජාතික පක්ෂය නැති වෙනවා. ඩඩ්ලි සේනානායක මැතිතුමාගෙන්, ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් සහ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වැනි නායකයන්ගෙන් අප ලද ආභාසය එයයි. එසේ නම් ශ්‍රී ලාංකිකයකු ලෙස මේ රට බේරා ගැනීමට මම අගමැතිකම භාර ගත්තා. ඒ වගේම ජනාධිපති ධුරය භාර ගත්තා.

මම මේ වගකීම් භාර ගත්තේ එදා මේ රටේ ජනතාව ගෑස්, ඉන්ධන, ඖෂධ සහ ආහාර පෝලිම්වල දුක් විඳින අයුරු දුටු නිසයි. ජනතාව මෙවන් පීඩාවකට පත්ව සිටින අවස්ථාවක ඔවුන් ගැන අනුකම්පා කර එම ප්‍රශ්න විසඳීමට කටයුතු කළ යුතුයි. එය සිදු නොකිරීම මහත් පාපයක්. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදු කළේ එම පාපයයි. නමුත් අපි සියලු දෙනා එකට එක්ව රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතියක් රැක දුන්නා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එහි සිටින කිසිවක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හෝ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ වැඩ කළේ නෑ. සජිත්ව පක්ෂයට ගත්තෙත් මම. ඒ නිසා ඔවුන්ට මේවා පිළිබඳ අවබෝධයක් නෑ. ඩී.එස්. සේනානායක මැතිතුමා ගැන දන්නේ නෑ. ඒ නිසා ඔවුන් පක්ෂය කඩාගෙන එළියට ගියා. ඒ පිළිබඳ පුදුම විය යුතු නෑ. අපි එක්සත් ජාතික පාක්ෂිකයන්. අප පළමුව සිතන්නේ රට ගැනයි.

මේ ආර්ථික අර්බුදයෙන් බේරීමට ඩොලර් බිලියන 03ක් අවශ්‍යයි කියා 2020 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළා . සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන කතා කළේ නෑ. එදා ඇත්ත ප්‍රකාශ කිරීම නිසා අප පරාජය වුණා. නමුත් අපට මේ ගැටලුව පිළිබඳ අවබෝධයක් තිබුණා. මම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගෙන මේ ගැටලුව විසඳිය හැකි බව මම දැනගෙන හිටියා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පිටවීමෙන් පසු කිසිවෙක් ජනාධිපතිකම ඉල්ලුවේ නෑ. මට සහයෝගය දෙන ලෙස ඉල්ලු විට සජිත් ප්‍රේමදාස සට්ටම්බිරාලගේ උපදෙස් මත ගිහින් ඩලස් අලහප්පෙරුමට සහයෝගය දුන්නා. නමුත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ එතුමාව බේරා ගන්න ඉදිරියට පැමිණියේ මම බව ඔහුට සිහිපත් කර දිය යුතුයි. එතුමා මරණයට පත්වු අවස්ථාවේ මමයි එතැනට ගියේ. ඔවුන්ට ඒවා මතක නෑ. මම මේ පක්ෂය ආරක්ෂා කර තිබෙනවා.

1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා, අපි ආණ්ඩුවට සහාය දෙමු කියලා. අපි ඇහුවා, ඇයි එහෙම කරන්නේ කියලා. එතුමා කිව්වේ රට නැති වුණොත් අපට වෙන කිසි දෙයක් වැඩක් නෑ කියලයි.

1989 දී නැවත මේ කැරැල්ල ඇති වූ අවස්ථාවේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සාකච්ඡාවකට කැඳෙව්වා. එතුමිය ඒ සඳහා එකඟවී සහාය දුන්නා. එවන් සිරිතක් අප අතර තිබෙනවා. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වු අවස්ථාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මා හමු වී ප්‍රකාශ කළා අපි කාවවත් ජනපති ලෙස ඉදිරිපත් කරන්නේ නෑ ඔබතුමන්ලාගේ පක්ෂයෙන් ඕන කෙනෙක් ඉදිරිපත් කරන්න කියලා. එම සිරිත් අප පක්ෂ අතර තිබෙනවා. මේවා දන්නේ නැති අය කෑ ගහනවා.

ඔබට සැලැස්මක් තිබෙනවා නම් එය රටට කියන්න. බොරු කියන්න එපා. පක්ෂ 03ම එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එම සාකච්ඡාව රටට ඉදිරිපත් කරමු. එවිට ජනතාවට පුළුවන් සත්‍ය අසත්‍යතාව දැන ගන්න. ඊට පස්සේ රටේ කවුරුත් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරය ලකුණු කරනවා.”

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ උප නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, හිටපු ඇමැති රවී කරුණානායක, හිටපු ඇමැති හරින් ප්‍රනාන්දු සහ හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.