රනිල් උතුර සංවර්ධනය කරන බවට මට විශ්වාසයි – මාවෙයි සේනාධිරාජා

රනිල් උතුර සංවර්ධනය කරන බවට මට විශ්වාසයි – මාවෙයි සේනාධිරාජා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදු විය.

ජනාධිපතිවරයා එහි ගියේ සේනාධිරාජා මහතාගේ ආරාධනයක් අනුවයි.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ පැවති හමුවේ දී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු සහ උතුරේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවයි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී නැවක විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට මහඟු වගකීමක් පැවරි ඇති බවද සේනාධිරාජා මහතා පෙන්වා දුන්නේය.

එසේම යුද්ධයෙන් විනාශයට පත් ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය.