ජනපති සිටියදීම තරුණ සමුළුවට මැතිවරණ කොමිසම පනී

ජනපති සිටියදීම තරුණ සමුළුවට මැතිවරණ කොමිසම පනී

මහරගම තරුණ සේවා සභාවේදී පැවැති “පුළුවන් ශ්‍රී ලංකා“ ජාතික තරුණ සමුළුව සම්බන්ධයෙන් ලද තොරතුරක් මත එහි ගිය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපතිවරයා සිටියදීම එය වීඩියෝගත කර රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහරගම පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම සමුළුව ඊයේ (30 වැනිදා) පෙරවරුවේදී මහරගම ජාතික තරුණ සේවා සභාවේදී තරුණයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ස්වාධීනව තරග කරන අපේක්ෂයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ සිටියේය. ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විවිධ ප්‍රදේශවලින් තරුණයන් ගෙන්වා මෙම සමුළුව පවත්වා ඇත. ඔහු එහිදී තරුණ පිරිස අමතා පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙසය.

රජයේ නිලධාරියෙකු ලෙස රජයේ දේපොළ අවභාවිත කරමින් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙවැනි රැස්වීමක් සංවිධානය කිරීම හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන අයුරින් රැස්වීම ඇමතීම නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

තරුණ පිරිසට බෙදාදීමට ගෙනා ආහාර පාන ආදියද මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් භාරයට ගෙන ඇත. ජනාධිපතිවරයා සිටියදීම අදාළ රැස්වීම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් වීඩියෝ ගතකර සාක්ෂි සහ ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කර තිබේ. මෙම රැස්වීම පැවැත්වීම සඳහා ශාලාව වෙන්කර ගැනීමට මුදල් ගෙවා තිබූ නමුත්, නැටුම් කණ්ඩායම සඳහා මුදල් ගෙවා නොතිබූ බවද කොමිෂන් සභාවේ නිලධාරීන් මහරගම පොලිසියට පැමිණිලි කර තිබේ.

මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.