රංගේ ගේ පුටුව තලතාට?

රංගේ ගේ පුටුව තලතාට?

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, පාලිත රංගේ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) අත්සන් තබා ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පාලිත රංගේ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි හරියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මුල් කර ගනිමින් පක්ෂ නායකත්වය අදාළ තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇතැයි ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ වනතෙක් තලතා අතුකෝරළ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නැත.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් විමසීමේදී ඔහු පැවැසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට මේ වන තෙක් ලැබී නැති බවයි.