නවීකරණය කළ දඹුල්ල හෙට විවෘත කරයි

නවීකරණය කළ දඹුල්ල හෙට විවෘත කරයි

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නැවත ක්‍රීඩාවලට ආරම්භ කිරීම හා පුද්ගලයන් මිලියන දෙකක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ හෙට (05) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන බව ක්‍රීඩා යෞවන කටයුතු හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඉඩම් ඔප්පු දොළොස් දහසක් ලබාදීම මෙදින සිදුකෙරෙන බවත් ඊට අමතරව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සවිකරන ලද නව විදුලි පද්ධතිය ආරම්භ කිරීම, ක්‍රිඩාංගණය තුළ අලුතින් ඉදි කරන ලද පිහිනුම් තටාකය විවෘත කිරීම හා ක්‍රිඩාංගනය සංචාරක ක්ෂේත්‍රයට යොදා ගැනීම සඳහා වැඩසටහන ආරම්භ කිරීම මෙදින සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ මහජනතාවට තම ඉඩමේ උරුමයක් අහිමිව එය කරුමයක් බවට පත්ව තිබෙන අවස්ථාවක මෙම නව වැඩසටහන උරුමය නමින් නම්කර තිබෙන බවත් ඉදිරියේදී ඉඩම්වල කිසිදු අයිතියක් නැති හිමිකමක් නැති පුද්ගලයන් සඳහාද වෙනමම ඉඩම් ලබාදීමේ නව ඉඩම් බැංකු ක්‍රමයක් ආරම්භක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, ලබන පහළොස්වනදායින් පසුව දිවයිනේ සෑම ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම සඳහා අවශ්‍යය සියලු පියවර මේ වන විටත් ගෙන තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබෙන බවත් එහෙත් විපක්ෂය මේ දිනවල මහ මඟ සිටින නිසා ඔවුන් සහභාගි වීම පිළිබඳව විශ්වාසයක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඉඩම් ඔප්පු ලබාදීමේදී කිසිදු පක්ෂභේදයකින් තොරව ඉඩමක හිමිකම් නොමැති විවිධ බලපත්‍ර යටතේ හිමිකම් තිබූ ජනතාවට එම ඉඩමේ අයිතිය පැවරෙන ඔප්පුවක් ලබාදීම සිදුවන බවත් එහිදී එම ඉඩමේ පූර්ණ හිමිකම ජනතාවට පැවරෙන බවද හෙතෙම සඳහන් කළේය.