ආණ්ඩුව පත් කරපු තවත් සභාපතිවරයෙක් ධූරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
මාසයකට ආසන්න කාලයක් ඇතුළත දී රජය විසින් පත් කරන ලද නව සභාපතිවරයෙකු ධුරයෙන් ඉල්ලා අස් වූ දෙවැනි අවස්ථාව මෙයයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධනගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා තහවුරු කර තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මාසයේදී ජාතික රූපවාහිනීයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සෙනේෂ් දිසානායක බණ්ඩාර ද සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ, බිමල් රත්නායක ඇමතිවරයා සමග ඇති කර ගත් මතභේදාත්මක හේතුවක් මත යැයි රාවයක් ද පවතී.
රමාල් සිරිවර්ධන අවස්ථා කිහිපයකදී, විවිධ රජයයන් යටතේ මීට ඉහතදී තුන් වරක් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර තිබේ.
සිව් වන වරට 2024 ඔක්තෝබර් මාසයේදී රමාල් සිරිවර්ධන ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ, එවකට ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ විජිත හේරත් විසිනි.
1994 සිට 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වී සිටි සමයේත්, 2006 සිට 2007 දක්වා මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් ම 2015 සිට 2019 දක්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය දරන සමයේත් රමාල් සිරිවර්ධන ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ය.
ඔහු එම ධූරය නොදැරුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ සමයේ සිට අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වන තෙක් කාලය තුළ පමණි.
තව ද ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේක්ෂයෙකු ලෙස ගම්පහ මහ නගර සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා ද ලබා දී තිබිණි.