දිස්ත්‍රික්ක රැසකට අදත් තද වැසි

දිස්ත්‍රික්ක රැසකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව පළාතේ සහ කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

මේ අතර, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද අලුයම 3.30 නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

ඒ අනුව, අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සඳහා වඩාත් සැලකිලිමත් වන ලෙස අදාළ නිවේදනයේ දැක්වේ.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැ.කි.මී 65 – 75 දක්වා ඇති විය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.