මුෂ්ෆිකර් රහීම් එක්දින පිටියෙන් සමුගනී

මුෂ්ෆිකර් රහීම් එක්දින පිටියෙන් සමුගනී

බංග්ලාදේශයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

37 හැවිරිදි මුෂ්ෆිකර් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම කඩුලු රකින්නා ලෙස ද කටයුතු කර ඇති අතර ඔහු එක්දින තරග 274කට ක්‍රීඩා කර ලකුණු 7795ක් ලබාගෙන සිටිනවා.

ඊට එක්දින ශතක 09ක් මෙන් ම අර්ධ ශතක 49ක් ද ඇතුළත්.

බංග්ලාදේශය වෙනුවෙන් එක්දින ලකුණු ලැයිස්තුවේ දෙවැනි වැඩිම එක්දින ලකුණුලාභියා ලෙස මුෂ්ෆිකර් රහීම් ඉතිහාසගත වනවා.

සිය සමුගැනීම පිළිබඳ ව මුෂ්ෆිකර් පවසා ඇත්තේ තමන් සෑම විටම හැකි උපරිමය එනම් සියයට සියයක්ම කණ්ඩායම වෙනුවෙන් ලබා දුන් බවයි.

ඔහුගේ සාමාන්‍යය 36.42 ක් වන අතර කණ්ඩායමට සිටි ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙසටයි රහීම් හැඳින්වෙන්නේ.

මුෂ්ෆිකර් රහීම් අවසන් වරට ක්‍රීඩා කළේ පසුගිය සතියේ දී ඔවුන් පරාජය වීමෙන් පසු ඉවත් වූ චැම්පියන්ස් කුසලාන තරගාවලියයි.