ගසක අත්තක් කඩා වැටී පෙර පාසල් සිසුවෙකු මරුට

ගසක අත්තක් කඩා වැටී පෙර පාසල් සිසුවෙකු මරුට

හොරොව්පොතාන, ඇලපත්වැව ප්‍රදේශයේ පෙර පාසලක මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇඟ මතට ගසක අත්තක් කඩා වැටී තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) මියගොස් ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඇලපත්වැව, මොරකෑව හොරොව්පොතාන ලිපිනයේ පදිංචිව සිටි ආර්.කේ. නෙසදු දුලාෂ් පෙරේරා නැමැති වයස අවුරුදු 5යි මාස 6ක පිරිමි දරුවෙකි.

මෙම දරුවා පෙර පාසල් අවසන් වීමෙන් අනතුරුව සෙල්ලම් කරමින් සිටියදී, ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් ඉකුත් 12දා මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි.

එදින පෙර පාසල නිමවීමෙන් අනතුරුව පෙර පාසල් ගුරුවරිය දෙමාපියන් පිරිසක් කැඳවා, පෙර පාසලේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී, එම දරුවා ගල් කැට කිහිපයක් රැගෙන ඒ ආසන්නයෙන් සෙල්ලම් කරමින් සිට ඇති බව එම දරුවාගේ මවගේ ප්‍රකාශ වල සටහන්වේ.

ගසක අත්තක් කඩා වැටී දරුවා වැටී සිටින අයුරු එම දරුවාගේ මාමා කෙනෙකු විසින් දැක වහා ක්‍රියාත්මක වී හොරොව්පොතාන ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර දරුවාගේ තත්ත්වය බරපතල වීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) මෙම දරුවා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, රශ්මික ගමආරච්චි මහතා විසින් එම දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.