තවත් ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සහය රනිල්ට

තවත් ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සහය රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලාබා දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහය ලබා නොදෙන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සහය ලබා දෙන බවත් සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ලිපියේ මෙසේද සඳහන්ය.

අපගේ මාතෘ භූමිය අද ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත. මේ මොහොතේ රටට ආදරය කරන පුරවැසියෙකු ලෙස අපගේ යුතුකම හා වගකීම වන්නේ රට ගැනත් අප සමඟ හැමදා සිටි අපේ පාක්ෂිකයන් ගැනත් සිතා කටයුතු කිරිමය.

අතිගරු ජනාධිපතිතුමණි, මගේ දේශපාලන ගුරුවරයා වන්නේ මගේ තාත්තාය. ඉන්පසු මගේ පරමාදර්ශී දේශපාලන චරිතය වන්නේ අන් කවරෙකුවත් නොව ඔබය. 2015 වසරේ දී යහපාලනය පෙන්වා ඔබව පරාජය කළ විට නැවත ඔබතුමා බලයට ගෙන ඒම සඳහා එවකට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යධූරය ද කැපකරමින් ඔබ වෙනුවෙන් පෙනී සිටියේ මගේ හෘද සාක්ෂියට එකඟවය. දශක 03 ක කුරිරු ත්‍රස්තවාදී යුද්ධයෙන් රට ගලවාගෙන රට එක්සේසත් කළ ඔබතුමා කෙරෙහි තිබූ ගෞරවයත්, ඔබ තුළ රටට හා ජනතාවට තිබූ ආදරයත් මා ඒ සදහා පෙළඹවූ බව අදත් සිහිපත් කරමි. එදා මෙන් අදද , අද මෙන් හෙටද ඔබ කෙරෙහි වන ගෞරවය හෝ ආදරයේ කිසිදු වෙනසක් නැත.

2015 දී ඔබ වෙනුවෙන් “ මහින්ද සුළඟ” වේදිකාව තැනුනේ මගේ ද මූලිකත්වයෙනි. ඔබතුමා නැවත දේශපාලනයට ගෙන ඒමට මූලිකත්වය ගැනීම නිසාම අපටත් අපගේ පාක්ෂිකයන් විවිධ තාඩන පීඩන වලට ලක්වීමට සිදුවූ බව ඔබතුමාටද රහසක් නොවේ.

අතිගරු ජනාධිපතිතුමණි, 2019 දී අප විසින් 69 ලක්ෂයේ ජනතාවගේ ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කර ගත්තද එතුමාට සිය ධූරය අතහැර යාමට සිදු වූයේ ඇයි දැයි මා අලුතින් පැහැදිලි කළ යුතු නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වීමෙන් පසුව ඒ සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගැනීම සිදුවූයේ ඔබතුමාගේ ද , පක්ෂයේ ද ආශිර්වාදය ඇතිවය. ඒ මොහොතේ ගත යුතු නිවැරදි තීන්දුව අප ගත්තේ කරුණු 02 ක් මත පදනම්වය. එකක් රට තුළ තිබූ ආර්ථික ආර්බුධයයි. දෙවැන්න දේශපාලන අස්ථාවරත්වයයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තීරණය කළේ ඔබ ඇතුළු පක්ෂ නායකත්වයයි. අප කළේ ඔබ ගත් නිවැරදි තීන්දුවට සහය පළ කීරිමයි. එදා ඔබ ගත් තීරණය හේතුවෙන් අපගේ පාක්ෂිකයන්ගේ ජීවිත හා දේපළ සුරක්ෂිත වූ බව ද සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙනි. ඒ තීරණය ක්‍රියාත්මක කිරීමෙන් රට තුළ පැවැති ආර්ථික අර්බුදය විසඳී රට ආර්ථිකමය වශයෙන් යථා තත්ත්වයට පත්වූ බවද සිහිපත් කරමි.

ගෙවී ගිය වසර දෙක තුළ රට නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකි වූයේ ඔබ අප ප්‍රමුඛ පොහොට්ටුව අතිගරු ජනාධිපතිතුමාට ලබා දුන් සහාය නිසා බව අවිවාධිතය.

අතිගරු ජනාධිපතිතුමණී, මා හැමවිටම ජනතාව අතර සිට ජනතාව සමඟ දේශපාලනයේ නිරතවන්නෙකි. මට හැමවිටම වැදගත් වන්නේ ජනතාවයි. රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට නම් වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුය යන්න මගේ විශ්වාසයයි. ඔබතුමා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා හා නාමල් රාජපක්ෂ මැතිතුමා හමු වූ සෑම අවස්ථාවකදීම අපේ පාක්ෂිකයන්ද ඇතුළු රට වැසියන් රැක ගැනීම සඳහා වත්මන් ජනාධිපතිවරයාට තවත් කාලයක් ලබා දිය යුතු බව යෝජනා කළේ ඒ නිසාය. පාර්ලිමේන්තුවේදී මා ඇතුළු 30 කට අධික පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටියේද ඒ නිසාය.

මේ මොහොතේ රට පවතින්නේ අත්හදා බැලීමකට හෝ අවධානමක් ගැනීමට සුදුසු තත්ත්වයක නොවේ. එවැනි අත්හදා බැලීමකින් රටටත්, ජනතාවටත් කිසිදු ප්‍රගතියක් අත් නොවනු ඇත. ඒ නිසා අපේ යුතුකම හා වගකීම වන්නේ රට වෙනුවෙන් සිතා රනිල් වික්‍රමසිංහ මහතා නැවත රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම බව මගේ විශ්වාසයයි. මගේ ආදරණීය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අපේක්ෂාවද එයයි.

පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ එය අපේ පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවේ. එම තීරණයට මා එකඟ නොවන්නේ මාගේ හෘද සාක්ෂියට එකඟවය. එම තීරණය සඳහා ඔබතුමා පෙළඹවූ බොහෝ දෙනෙකු ඔබතුමා ඒ සඳහා පෙළඹවුයේ ඔබතුමාට හෝ පක්ෂයට ඇති ආදරය නිසා නොවේ.

ඒ නිසා අතිගරු ජනාධිපතිතුමණී, හෘද සාක්ෂිය ඇති මිනිසෙකු ලෙසින් මට පක්ෂයේ තීරණයට එකඟවිය නොහැකි බව කණගාටුවෙන් දැනුම් දෙමි. ඒ නිසා මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැප වෙමි.

මා එදා නුගේගොඩ පැවැති මහින්ද සුළඟ වේදිකාවට ඔබතුමා වෙනුවෙන් ගොඩවූයේද ඒ හෘද සාක්ෂියට අනුවමය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත පත් කිරීමෙන් මිස අපගේ පාක්ෂිකයන් රැකගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ මට පෙනෙන්නේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා නැවත පත් කර ගැනීමෙන් මිස රට මේ පවතින තත්ත්වයෙන් ඉදිරියට යාමක්ද මට මේ මොහොතේ පෙනෙන්නේ නැත. ඒ නිසා එදා ඔබ වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව ඉදිරිපත් වූ ලෙසම රට ගැන සිතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරිපත් වෙමි.

මා පොහොට්ටුව අත්හැර යන බව හෝ මා එජාපය සරණ යන බව එමඟින් ගම්‍ය නොවන බව අවධාරණය කරමි.

මම තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයෙකි. ඔබතුමා තවමත් මාගේ පරමාදර්ශී නායකයාය. ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.!