ප්‍රමෝද්‍ය අද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකයට

ප්‍රමෝද්‍ය අද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත අද (21දා) කැඳවා තිබෙනවා.

අද දින ඔහු වීශේෂ විමර්ශන ඒකකය හමුවේ කරුණු දැක්වීමට පස්වරු 2.00ට පැමිණීමට නියමිතයි.

ප්‍රමෝද්‍ය මෙලෙස කැඳවා තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය එම ඒකකයට කළ පැමිණිල්ලක් මතයි.

කෙසේ වෙතත් ඔහුව අදාළ ඒකකය වෙත කැඳවා තිබුණේ හෙට (22දා) දිනයේදී පෙරවරු 9.00ටයි.

එහෙත් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා කළ ඉල්ලීමක් අනුව ඔහුව අද දිනයේ ඒකකය හමුවට කැඳවා ඇත.

ලෝක කුසලාන තරගාවලි පරාජයෙන් අනතුරුව තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 13වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත්ව තිබුණු අතර, තරග පවාදීමේ සූදුවේ නිරත පිරිස් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැට්ටවීමට උත්සාහ දැරූ බව සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයන් ගෙනයාමට ඇතැම් පිරිස් විශාල වශයෙන මුදල් ආයෝජනය කළ බව එම නිවේදනයේ සඳහන්ව තිබුණා.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධ කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ එකක් වන බවයි.

ඒ අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දී තිබුණි.