පරිපාලන සේවා සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරියි

පරිපාලන සේවා සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරියි

‍සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබේ.

ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර ඊයේ (24) පස්වරුවේ පවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුවයි.

එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දීමනා වැඩිවීමක් ලබා දීමට අදාළ සාකච්ඡාවේදී එකඟතාව පළවූ බවය.

එලෙස එකඟතාවයකට පැමිණීමට හැකි වූ බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලීකව නතර කිරීමට තීරණය කළ බවයි, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේ.

වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයක නිතර වීමට තීරණය කර තිබිණි.