විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය හෙට

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය හෙට

මහජන උපදේශනයේදී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මේ වසරේ මුල් මාස 6 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය හෙට (17) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, ඊට අදාළව ලබාගත් මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු අද (16) දිනයේ අවසන් කරන බවයි, එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

2025 ජනවාරි සිට ජූනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය (ලංවිම) ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය පිළිබඳ මහජන අදහස් විමසීම 2024 දෙසැම්බර් 17 වැනි දින සිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා සභාව විසින් ආරම්භ කළ අතර වාචික උපදේශන සැසි පසුගිය 10 වැනිදා අවසන් කෙරිණි.

ලංවිම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සහ ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලය කළ සමාලෝචනයෙන් අනතුරුව සකස් කළ ප්‍රතියෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කිරීමට මේ මහජන උපදේශනයේදී අවස්ථාව දී තිබුණි.

බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම සිදු කෙරුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම මධ්‍යම පළාතේ ආරම්භ වූ අතර පසුව එය සෙසු පළාත්වල ද ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේය.

රටේ පළාත් නවය පුරා ඉදිරිපත් කිරීම් 300කට අධික සංඛ්‍යාවක් ලැබීමත් සමඟ පසුගිය සිකුරාදා (10) වාචික උපදේශන සැසි අවසන් විය.