ඇමති ඉදිරියේ ගුටි කෑ පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම්

ඇමති ඉදිරියේ ගුටි කෑ පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම්

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඉදිරියේ පහරකෑමකට ලක්වූ ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර ඇතැයි සඳහන්.

ඉකුත් 17 වන දින රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටිය දී, ආයතන පරිශ්‍රයේදී, සේවකයෙකු විසින් කළ පහරදීමේදී පහර කෑමට ලක්වූ නිලධාරිවරයා එප්පාවල පොලිසියට ඒ් ගැන පැමිණිලිකර තිබෙනවා.

තමාට එල්ල කරන ලද ප්‍රහාරය සහ රාජ්‍ය ඇමැතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් තමන් එප්පාවල පොලිසිය වෙත පැමිණිලි කළ බව එප්පාවල පොස්පේට් ආයතනයේ සැපයුම් නිලධාරී අශෝක අබේසිරි මහතා කියන්නේ.

මෙම සිදුවීම සභාපතිවරිය සහ සේවකයන් විසින් කරන ලද සැලසුම් සහගත ක්‍රියාවක් බවත්, තමන් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසනවා.

අදාළ පැමිණිල්ල සිදුකිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙසේද, කියා සිටියා

“වංචා දූෂණ සිද්ධවෙලා තියෙනවනම්, මේ කිසිම වංචාවකට හෝ දූෂණයකට මට වගකියන්න බැහැ කියලා මම කීවා. මම කිව්වේ ඒවා ගැන විධිමත් ආකාරයේ පරීක්ෂණයක් පවත්වලා ඔප්පු කරන්න ඕනේ කියලා. මිනිස්සු, සේවකයෝ, කම්කරුවෝ කිව්ව පලියට නැතුව පරීක්ෂණයක් කරලා සම්පූර්ණ වාර්තාවක් ගන්න කියලා මම කිව්වා. ඒ ගමන ඇමතිවරයා කිව්වා මිනිස්සු කියන හින්දා මම පිළිගන්න ඕනේ කියලා.

අපි දැන ගෙන උන්නා ඇමතිවරයාගේ මේ ගමනේ දී මට සහ තව කිහිප දෙනෙකුට හූ කියලා පහර දෙන සැලසුමක් තියෙනවා කියලා. ඒක සැලසුම් කරලා තිබුණේ ආයතනයේ පාලනාධිකාරිය. ඒ සභාපතිවරිය ඇතුළු කිහිප දෙනෙක්ගේ අවශ්‍යතාවය මත. ඒ නිසයි මුලින් මම එතැනට ගියේ නැත්තේ. නමුත් ඇමතිවරයාගේ කැඳවීම අනුව මම එතැනට ගියා.

මම කිව්වා ප්‍රසම්පාදන කටයුතු කරන්නේ මම වුණාට මට තනියම ඒක කරන්න බැහැ කියලා මම කිව්වා. ආයතනයට අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා, ප්‍රසම්පාදන කමිටුවක් ඉන්නවා. තාක්ෂණ ඇගයීම් කමිටු තියෙනවා. ඒ කමිටුවල නිර්දේශය මත තමයි ආයතනය ප්‍රසම්පාදන කටයුතු කරන්නේ. එහෙම නැතුව මට තනි බලයක් නැහැ ප්‍රම්පාදන කටයුතු කරන්න.

මේ ආයතනයේ වංචා, දූෂණ වෙන දේවල් තියෙනවනම් විමර්ශන කටයුතු කරන්න ඕනේ. අමාත්‍යංශ තියෙන්නේ, විගණන අංශය තියෙන්නේ, රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ, CID තියෙන්නේ ඒවට තමයි. එහෙම නැතුව මිනිස්සු උසිගන්වලා, මිනිස්සුන්ට ගහපල්ලා කියලා පොලිසිය සහ ඇමතිවරයා ඉස්සරහම මට පහර දෙනවා. ඒකේ සම්පූර්ණ වගකීම ඇමතිතුමා, වර්තමාන සභාපතිවරිය සහ අධ්‍යක්ෂ මණ්ඩලය බාර ගන්න ඕනේ. මොකද ප්‍රසිද්ධියේ මේ වැඩේ කළේ. මේක බොහොම ප්ලෑන් කරලා කරපු වැඩක්.

මම මේ ගැන එප්පාවල පොලිසියට පැමිණිල්ලක් කළා. මුලින් ඒගොල්ලන්ටත් කිව්වා පැමිණිලි බාරගන්න එපා කියලා. හැබැයි ඒ අය ඒක ගණන් නොගෙන මගේ පැමිණිල්ල බාර ගත්තා. මම මේ ගැන ආයතන ක්‍රියාමාර්ග ගන්නවා. මේ ගැන ආයතනය පැත්තෙන් කිසිම දෙයක් කරයි කියල මම හිතන්නේ නැහැ. මොකද සභාපතිනිය සහ තව ටික දෙනෙක්ට ඕන විදිහටනේ මේ වැඩේ කළේ.

මේ දවස්වල බෑග් ටෙන්ඩරයක් ගැන කතා වෙනවා. ඒ ගැන කතාව වහගන්න තමයි මේ දේවල් කරන්නේ. මට පෙනෙන්නෙ බොහොම අවිධිමත් භාවයකින් ඒක කෙරෙන බවයි. හැබැයි කලින් කරපු කට්ටියට දොස් කියනවා. හැබැයි ඒවා වැරදියි කියලා ඔප්පු කරන්නේ නැහැ. මට අනුමත කිරීමේ හෝ ගෙවීමේ බලයක් නැහැ. හැබැයි අමතිවරය යි සභාපතිනිය යි හිතන්නේ මේවා කරන්න මට පුළුවන්, මට බලයක් තියෙනවා කියලයි. ඒ ගොල්ලන්ට මේ ගැන අවබෝධයක් නැතිකමයි තියෙන්නේ” යි එප්පාවල පොස්පේට් ආයතනයේ සැපයුම් නිලධාරී අශෝක අබේසිරි වැඩිදුරටත් කියා සිටිනවා.

Share This