දළදා මාලිගාවේදී පිංතූර ගත්ත යුවළට නඩු දාන්න බෑ – පොලීසිය

දළදා මාලිගාවේදී පිංතූර ගත්ත යුවළට නඩු දාන්න බෑ – පොලීසිය

මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුළ ඡායාරූප ගත් යුවළ කිසිදු වරදක් සිදුකර නැති බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නොහැකි බවත් මහනුවර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම යුවළ ඡායාරූප ගත් දින උදෑසනම විවාහ වී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට පැමිණ ඇති බවත් ඒ අතරතුර ඡායාරූප ගෙන ඇති අතර එවැනි ඡායාරූප බොහෝ දෙස් විදෙස් සංචාරකයන් ගෙන තිබෙන බවත් කී එම නිලධාරියා ඊට කිසිදු නීතිමය තහනමක් නැති බවද පැවැසුවේය.

මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මෙය වරදක් බවට ඒත්තු ගන්වමින් සිදුවූ ප්‍රචාරයන් මඩ ගැසීම් බවත් මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පොලිසිය විමර්ශන සිදුකර, ඊට අදාළ බී වාර්තාව ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන බවත් හෙතෙම කීවේය.

මෙම ඡායාරූප ගැනීමේ සිද්ධියට ඉඩ දිම සම්බන්ධයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑලටද චෝදනා එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් දියවඩන නිළමේවරයා සඳහන් කළේ මෙවැනි සිද්ධිවලට කිසිසේත්ම අවසර නොදෙන බවයි.

ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කරන ලද නිරීක්ෂණවලදී මේ යුවළ මාලිගාව වැඳ පුදා ගැනීමට මහජනතාව පැමිණෙන සාමාන්‍ය වේලාවක පැමිණ ඡායාරූප ගෙන ඇති බවද ඔහු පැවැසුවේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් කෙරෙන බවද දියවඩන නිළමේවරයා සඳහන් කළේය.