
අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි
මාලබේ හෝකන්දර විස්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වෙඩි තබා නවැත්වීමට කටයුතු කර එම මෝටර් රථය සෝදිසි කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාලඹේ පොලිසිය පවසයි.
එම මෝටර් රථයේ සිට අත්අඩංගුවට ගත් ගැබිනි කාන්තාවක් ඇතුළු යුවළගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සැකකරුවන්ගේ පදිංචිව සිටි කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසෙහි තිබී තවත් කෙරළ ගංජා කිලෝ එකක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
මාලඹේ පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත කණ්ඩායමක් හෝකන්දර විස්කම් මාවත අසල මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටි අතරතුර ලද තොරතුරට අනුව සොයමින් සිටි මෝටර් රථය එම ස්ථානයට පැමිණීමත් සමග එම මෝටර් රථය නැවැත්වීම සඳහා පොලිසිය අණ කර ඇත.
එම අවස්ථාවේදී ඉදිරියට පැමිණි වේගයෙන්ම පිටුපසට ධාවනය කල මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීමට සැරසීමේදී පොලිසිය විසින් එම මෝටර් රථයේ ටයර් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර කිහිපයක් තැබූ බවද ඉන් එක උණ්ඩයක් එක් රෝදයක වැදීමත් සමග මෝටර් රථය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක වැදී නැවතී ඇතැයිද පොලිසිය පවසයි.